බෙල්ලන්ගල කන්ද

බළන්ගොඩ නගරයේ සිට කල්තොට මාර්ගයේ කි.මි.27ක් පමණ ගමන් කලවිට ඔබ ඇතුලුවන්නේ තරමක් උණුසුම් දේශගුණික තත්ව යටතේ පවතින අර්ධ ශුෂ්ක වනාන්තර කලාපයකට සමාන බෙල්ලන්ගල රක්ෂිතය වෙතයි. මෙම රක්ෂිත වනාන්තරය එතැන් සිට කල්තොට හන්දිය දක්වාම විහිදී යයි. බොහෝ දුර්ලභ ඖෂධ වර්ග ගණනාවකින් සමන්විත මෙම රක්ෂිත වනාන්තර කොටස අතීතයේ සිටම හැදින්වෙනුයේ බෙල්ලන්ගල බෙහෙත් කැලේ නමිනි. හොඩල, අට්ටික්කා, පුස්වැල්, කුඹුරුවැල්, බිම්පොල්, ගම්මාළු, අරළු, බුළු, නෙල්ලි, බිම් කොහොඹ, ප්‍රාණජීව, කතුරුපිල, බැබිල, කොතලහිඹටු, රසකිද, කටකෑල්ල, අංකෙන්ද, හාතාවාරිය, වල්දෙහි, යකිනාරං, වල්කහඹිලිය ආදී බොහෝ බෙහෙත් පැලෑටි මෙන්ම වටිනාකමින් ඉහල ශාක වර්ග හා ශ්‍රී ලංකාවට ආවේණික ශාක වර්ග ද බොහෝ වේ. මෙම රක්ෂිතය මැදින් දිවෙන බළන්ගොඩ කල්තොට මාර්ගයේ කි.මි. 1ක් පමණ ගමන් ගන්නා විට කදු මුදුන සමීපයේ වම් පසින් පිරිසිදු සිහිල් දියෙන් පිරි ස්වභාවික ජල උල්පතක් සහිත කුඩා දිය වලක් වන අතර එය වියළි කාලයේ වුවද නොසිදී පවතී. මාර්ගය තරමක් පටු වුව ද කි.මි.3ක් පමණ මෙම ස්වභාවික ඖෂධ උයන මැදින් ගමන් ගන්නා ඔබට විවිධාකාරයේ කුඩා වන සතුන් මෙන්ද විවිධ පක්ෂීන් ද උරග වර්ග ද දැකගත හැකිය. එමෙන්ම කදු බෑවුමෙන් පිහිටි දියවින්න, වැලිපතයාය ආදී ගම්මාන වල වෙල් යායවල්ද ඈතින් ඈතට විහිදී පවතින කුඩා වැව් රාශිය ද ඈතින්ම පිහිටා ඇති මනරම් කදු වලල්ල ද ඔබට නෙක සොදුරු දසුන් මවා පානු ඇත.