කූරගල ආරණ්‍ය සේනාසනය
බලංගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තන්ජන්තැන්න ග්‍රාම නිළධාරී කොට්ඨාශයට අයත් කූරගල තපෝවන ආරණ්‍ය සේනාසනය පැරණිතම බෞද්ධ සංස්කෘතික උරුමයකි. අද විට එය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු රක්ෂිත භූමියකි. බලංගොඩ කල්තොට මාර්ගයේ තන්ජන්තැන්න ග්‍රාම නිඝධාරී කොට්ඨාශයේ තංජන්තැන්න මංගර දේවාලයට ආසන්නව දකුණු දෙසට දිවෙන මාර්ගයේ 1.05 කි.මි. ක් පමණ ඉදිරියට ගිය පසු කූරගල ගල් තලාවට පිවිසිය හැකිය. එතැන් සිට ගල් තලාවේ සකසා ඇති පැරණි පිය ගැට පෙළ ඔස්සේ යාර 100 ක් පමණ ගල් තලය දිගේ ඉදිරියට ගමන් ගත් පසු වලයාකාර බැස්මක් හමු වේ. එහි මධ්‍යයයේ තැනි බිමකි. එතැන් සිට වම් පසින් ප්‍රධාන ලෙන් සංකීර්ණයට පිවිසිය හැකිය.මෙයට දකුණුලසින් හිටුවන්ගල ගල් ගුහාව (කුහරය) පිහිටා තිබේ. මෙම ස්ථානය පොදුවේ කූරගල යනුවෙන් ව්‍යවහාර කරතත් පර්වත ශිඛර 02කි. මෙම “කූරගල” එය පිහිටි ගල් තලාවේ උසම ස්ථානය ලෙසින් සැළකෙන අතර එය මුහුදු මට්ටමේ සිට අඩි 1500 කට වඩා උසින් පිහිටා තිබේ. මෙම ගල් තලාවේ උසම ස්ථානයට පිවිසි විට අවට ප්‍රදේශයේ සුන්දරත්වය මැනවින් දර්ශනය වේ. ඈතින් ඈතට විහිදී යන වෙල් යායවල්ද තැන තැන පිහිටි කුඩා වැව්ද චමත්කාර සිතුවමක් මවයි. සීගිරිය, දඹුල්ල, මිහින්තලය, සිතුල්පව්ව, වැනි ස්ථානයකට ගිය විට ඔබට දැනෙන ඔබට දර්ශනය වන ආකාරයේ සුන්දරත්වයක් මෙම ඓතිහාසික පුද බිමෙන් අපට දර්ශනය වේ. භාවනානුයෝගීව කල් ගෙවීමට සුදුසු ස්ථාන මෙම පුද බිමේ පිහිටා තිබීම විශේෂත්වයකි. අතීතයේ රහත් හිමිවරුන් භාවනායෝගීව වැඩ සිටි බවට සැලකෙන ගල් ලෙන් කිහිපයක්ම මෙහි දක්නට ලැබේ. ඉන් ගල්ලෙන් 02ක ලෙන් ලිපි ද දක්නට ලැබේ. එම ලිපි ක්‍රි.පූ. 2 – 1 වන සියවස් වලට අයත් බවට සැලකෙන අතර පුරාණ සිංහල භාෂාවෙන් පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් සකසා ඇති බව සොයාගෙන තිබේ.