බෙලිගල රජ මහා විහාරය

රත්නපුර බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ඇල්ලෙපොල මහා විද්‍යාලය අසලින් පල්ලෙකන්ද ග්‍රාමයට පිවිසෙන අතුරු මාර්ගයේ 4 කි. මි. පමණ ගිය විට මෙම විහාරස්ථානය හමු වේ. අඩි 40 ක් පමණ උස් වූ ගලක් යට මෙම මනරම් විහාරස්ථානය පිහිටා තිබේ. බෙලිගල රජ මහා විහාරස්ථානයට මෙම නම ඇති වීමේ ඓතිහාසික කතා පුවතක් තවමත් ප්‍රචලිතව පවතී‍. වළගම්බා රජ සමයේ රජතුමා සැඟවී සිට ඇති එක්තරා ස්ථානයක් ලෙස මෙම විහාරස්ථානය සැලකේ. රජු මෙහි වාසය කරන සමයේ ඇති වූ දුර්භික්ෂයක් හේතුවෙන් ඇති වූ ආහාර හිඟකම නිසා අසළ වූ දොළකින් බෙල්ලන් අහුලා ගෙනවිත් ආහාරයට ගෙන තිබෙන බව ජනප්‍රවාදයේ පවතී. තවමත් විහාරස්ථානය අවට පොළව හාරන විට බෙලි කටු හමුවන බව පැවසේ. යුද්ධය නිම වූ පසු රජතුමා මෙහි පැමිණ සියල්ල ශුද්ධ පවිත්‍ර කර විහාරස්ථානයක් කරවූ බව ඓතිහාසික කතා පුවත් වල වාර්ථා වේ. සබරගමුවේ ලෙන් විහාර අතරින් මෙය සුවිශේෂී ස්ථානයකි.